කරුණු මතක තබාගැනීම වෙනුවට විෂය අවබෝධ කරගන්න. ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වූ ප්‍රමිත් රුවන්පතිරණ කියයි
පසුගිය 2012 උසස් පෙළ විභාගයේදී ජීවවිද්‍යා අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානයට පත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන්පතිරණයි. ශ්‍රී ලංකා ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගයෙන්ද දිවයිනේ වැඩිම ලකුණු ලැබූ ප්‍රමිත් මේදිනවල 2012 ජූනි මස සිංගප්පූරුවේ පැවැත්වෙන අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගය සදහා ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල පවත්වන විශේෂ පුහුණුවීම් සැසිවලට සහභාගිවෙමින් සිටී.
ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් සම්බන්ධීකාරක සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සතියේ සදදා දිනවල ප.ව. 3-4 දක්වා විකාශනය වන බුද්ධි ප්රබෝධය වැඩසටහනේදී ප්‍රමිත් සමග කතාබහක යෙදුනා. මෙහි පළවන්නේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා උසස් පෙළට සූදානම් වීම පිළිබදව ප්‍රමිත් රුවන්පතිරණ ශිෂ්‍යයාගෙන් විමසු කරුණු සහ ඔහු ලබාදුන් පිළිතුරුයි.
Pramith Ruwnpathirana of Royal College, Colombo became the best student in Biology stream of GCE A/L 2012 examination. With an interview with Prof Hiran Amarasekera, Pramith disclosed tips for Advanced level students on how to prepare for examination, how to study during final stages of examination and how to answer questions for the paper at the examination hall.
ඔබ කුඩා කාලයේ සිට මේ දක්වා ඔබගේ ගමන් මාර්ගය පිළිබඳ විස්තර ටිකක් ඉදිරිපත් කරන්න.
මම පෙර පාසැල් අධ්‍යාපනය ලැබුවේ ගම්පහ. 1 ශ්‍රේණියට බදුල්ල ධර්මදූත විද්‍යාලයට ඇතුල්වෙන මම 2 – 4 ශ්‍රේණි වල බණ්ඩාරවෙළ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙන ගන්නවා. 4 වසරෙදි තමයි කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලු වෙන්නේ. උසස් පෙළ කරනකම් මම කොළඹ රාජකීය විද්‍යාලයේ තමයි ඉගෙනගත්තේ.
ඔබ උසස් පෙළ විභාගයෙන් සාමාර්ථ තුනක් සහිතව ජීව විද්‍යා අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා බවට පත්වූවා. උසස් පෙළ හැදෑරීමට පටන්ගත් කාලයේ සිට ඔබ අධ්‍යයන කටයුතු සිදුකළ අයුරු විස්තර කරන්න.
විද්‍යාව කියන්නේ අප අවට තියෙන දේවල් වල ක්‍රියාකාරිත්වය, අපිට දකින්න ලැබෙන දේවල් ගැන, අපේ පරිසරය ගැන විශ්ලේෂණය කරන විෂයක්. ඒ නිසා විද්‍යාව අපේ ජීවිතයේම කොටසක් බවට පත් කරගත්තාම විද්‍යාව ඉගෙනගන්න එක හරිම ලේසියි. අපි අවට ලෝකය ගැන විද්‍යාත්මක ඇහැකින් බලන්න පුරුදු වුනාම විද්‍යාව ගැන ලොකු ආසාවක් වගේම හොඳ කුතුහලයකුත් ඇතිවෙනවා. මේ ආසාව උසස් පෙළට විතරක් නෙමේ මුලු ජීවිත කාලෙටම තියෙන එක හරිම වැදගත් වෙනවා.
උසස් පෙළදී උගන්වන කරුණු මතක තබාගෙන පිළිතුරු ලියනවා කියන එක සාර්ථක ක්‍රමයක් නෙමේ. අපි ඒ හැම සිද්ධාන්තයක්ම හොඳින් අවබෝධ කරගන්න ඔනේ. ඒ සිද්ධාන්ත ජීවිතයේම කොටසක් බවට පත් කරගන්න ඕනේ. විෂය දැනෙන්න ගන්නවා කියලා ළමයි කියන්නේ එතකොට.
මේ අවබෝධය ලබාගන්න මහන්සි වීම ම ප්‍රමාණවත් නෑ. මුලින්ම අපට උගන්වන ගුරුවරුන්ට හොඳින් සවන්දීම පුරුදු වෙන්න ඹ්නේ. උගන්වන දේවල් ඒ වෙලාවේම උපරිම ප්‍රමාණයක් ධාරණය කරගන්න උත්සහා කරගන්න. ගෙදර ආවාම ඉගෙන ගත්ත සිදිධාන්ත අපහු කියවලා බලලා තනිවම විශ්ලේෂණය කිරීමට පුරුදු වෙන්න ඕනේ. ඕනෑම දෙයක් හේතු සහිතව ඉගෙනගත්තාම මතක හිටින ප්‍රමාණය වැඩියි. ඊට පස්සේ අවශ්‍ය නම් අමතර පොත් පත් කියවලා තමන් එළඹුණ නිගමන හරිද කියන එක පරීක්ෂා කිරීම කරන්න පුලුවන්. ස්වයං අධ්‍යයනය තමයි හොඳම ක්‍රමය.
සිදධාන්ත අවබෝධ කරගත්තාට පස්සේ ප්‍රශ්න වලට මුහුණ දීලා හොඳ පුහුණුවක් ලබගන්න ඕනේ. මේ සඳහා පොත්පත් වගේම පරණ විභාග ප්‍රශ්න පත්‍රත් ගොඩක් උදවු වෙනවා. යාලුවෙත් එක්ක විශය සාකච්ඡා කරන එක, යාලුවන්ට උගන්වන එක, ප්‍රායෝගික පරීක්ෂණ කරන එක විශය ධාරණය වීමට ගොඩක් වැදගත් වෙනවා.
ඉගෙනගන්නා කාලය තුල විශය බාහිර ක්‍රියාකාරකම් හරි, වෙනත් විනෝදාංශයක් හරි, ක්‍රීඩා හරි පාලනයකින් යුතුව සිදු කිරීම දීර්ඝ කාලීනව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට වැදගත් වෙනවා.
විභාගයට තව තියෙන්නේ මාස 3ක් වගේ සුලු කාලයක්. මෙම විභාගයට ආසන්න කාලයේදී විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය වන්නෙ කවර ආකාරයටද?
මේ කාලයේදී ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා හොඳ පුහුණුවක් ලබාගන්න ඕනේ. කොච්චර දැනුම තිබ්බත් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා හුරුවක් නැත්නම් විභාගය සාර්ථකව කරගන්න අමාරුයි. කාල කළමණාකරණය වගේම පීළිතුරු පෙළගැස්වීම පුරුදු වෙන්න ඕනේ. මේ සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පාසැල් වාර විභාග ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගන්න පුලුවන්. යාලුවොත් එක්ක එකතු වෙලා ප්‍රශ්න පත්‍ර කරන එක වගේම යාලුවන්ගේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමත් ගොඩක් ලොකු පිටුවහලක් වෙනවා. මේ විදිහට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන කොට තමන්ට හුරු පුරුදු පිළිවෙලක් ගොඩනගාගන්න ඕනේ. නිදසුනක් විදිහට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයක මුලින්ම පිළිතුරු සපයන්නේ කාබනික රසායන ප්‍රශ්නයටද, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයටද, නැත්නම් භෞතික රසායනයටද කියලා තීරණය කරගෙන තියෙන්න ඕනේ.
මේ කාලයේදී අධික ලෙස පාඩම් කිරීම කාලය යොදවන්න එපා. අපි හැමෝටම මේ කාලයේදී දැනෙනවා “කිසිදෙයක් මතක නෑ“ කියන හැඟීම. මේක සාමාන්‍ය තත්වයක්. බය වෙන්න එපා. සැහැල්ලුවෙන් ඉගෙනුම් කටයුතු කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ.
තරඟකාරීත්වයට මේ කාලයේදී වැඩිය යොමු වෙන්න එපා. යාලුවොත් එක්ක තමන්ව සංසන්දනය කරන්න යන්න එපා. විශය අවබෝධ කරගැනීම හා සාර්ථකව පිළිතුරු ලිවීම පමණක් අරමුණු කරගන්න.
“වැඩ කරන්න වෙලාව මදි“ කියලා දැනෙන එක සාමාන්‍යයයි. හරියට වැඩ කරපු කෙනෙකුට අන්තිම කාලෙදී වැඩ කරන්න ඔනවටත් වඩා වෙලා තියෙනවා.
මේ කාලයේදී ආගම දහමට නැඹුරු වීමත් විභාගයේදී ආශිර්වාදයක් වෙන්න පුලුවන්.
බොහෝ අපේක්ෂකයන්ට විභාග ශාලව තුළ දී ඇතිවන බිය සහ අනවශ්‍ය කලබල වීම නිසා පශ්නවලට නිසි පරිදි පිළිතුරු ලිවීමට නොහැකි වෙනවා. විභාග ශාලාවේදී ප්‍රශ්න පත්‍රය අතට ගත්තාම මොකක්ද කරන්න ඕනේ?
විභාග ශාලාව තමන්ට හුරු පුරුදු තැනක් බවට විභාගයට පෙර පත් කරගන්න. අවට සිටින අය සමඟ සුහද වෙන්න. ඔවුන් ඔබේ තරඟකරුවන් කියලා හිතන්න එපා. සැහල්ලු බව ඇති කරගන්න. විභාගය ලොකු කඩඉමක් කියලා වත්, මේක අසමත් වුනොත් මොකද කරන්නේ කියලා වත් සිතන්න යන්න එපා. අනාගතයත් අතීතයත් ගැන නොසිතා මේ මොහොතේම ඉන්න.
ප්‍රශ්න පත්‍රය අතට ලැබුනාම කළබල වෙන්න එපා. මුල සිට හොඳින් කියවන්න. ආරම්භයේදීම නිවැරදි විභාග අංකය දැමීමත් වැදගත්. උපදෙස් පරිදි පහසු හුරු පුරුදු ප්‍රශ්නයකින් පිළිතුරු ලිවීම පටන් ගන්න. ලේසි ප්‍රශ්න වලට වැඩි වේලාවක් ගන්න යන්න එපා. අවශ්‍ය කරුණු පමණක් ලිවීම ප්‍රමාණවත්. මේ විදිහට ප්‍රශ්න කරගෙන යනකොට අමාරු කොටස් අතඇරලා දිගටම පිළිතුරු ලියාගෙන යන්න. මෙහෙම ලියලා ඉවරවෙලා නැවත අතහැරපු කොටස් වලට පිළිතුරු ලියන්න උත්සහ ගන්න. කොටස් අතහරිද්දී ඒ කොටස් පැහැදිලිව සළකුණු කරගන්න. පිළිතුරු ලියපු ප්‍රශ්න ඉදිරියෙන් ලකුණක් දමාගන්න. ඒ වගේම කොළයේ දෙපැත්තම පෙරලා බලන්න යාබද පිටුවේ පිළිතුරු නොදීපු ප්‍රශ්න තියෙනවාද කියලා. අන්තිම මොහොතට එන්න කලින් කොළ ඔක්කොම අමුණලා ආයේ පිළිතුරු ලියන්න ගන්න.
ප්‍රශ්න පත්‍රය ලියන මුලු කාල පරාසය පුරාම වෙලාව ගැන හොඳ අවබෝධයකින් ඉන්න. ඒ වගේම කොයි වෙලාවකවත් අනිත් ළමයි මොනවද කරන්නේ, ඒ අයට ලේසිද කියලා හොයන්න එපා.
විභාගය ඉවර වෙලා ලියපු ප්‍රශ්න පත්‍රය ගැන හිතන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඉදිරි ප්‍රශ්න පත්‍ර ගැන විතරක් අරමුණු කරන්න. මේ විදිහට කලොත් ඕනෑම විභාගයක් සාර්ථකව කිරීම කරන්න පුලුවන්.
Leave a Reply